ඇන්ටී අනේ තව කට්ලස් එකක්…..
ජංගියකුයි කර හොඳටම ඇදිච්ච බැනියමකුයි ඇඳපු පොඩි එකෙක් අම්මගෙ සායෙ එල්ලිලා.
ඇන්ටී පපඩං තියෙයි ? තා පරිප්පු ඩිංගක්….. අනේ මට මාළු කෑල්ලක්….
ඔය වගේ දේවල් අඩු වැඩි විදියට හැම අවුරුද්දකම ඇහෙන්න මගෙ උපන්දිනේ දවසෙ හැන්දෑවට ගාල්ලෙ ගුණරතන ළමා නිවාසෙදි.
උපන්දිනේකට කිසිම දවසක පාටි දාන්න පුරුද්දක් නොතිබිච්ච අම්මයි තාත්තයි මගෙ එකම එක උපන්දිනයකටවත් කේක් ගෙඩියක් කැපුවෙ නෑ. පන්තියෙ අනිත් ළමයි තම තමන්ගෙ උපන්දිනේ දවසෙ පන්තියටම කේක් ගේනකොට මං මගෙ උපන්දිනේ දවසෙ හිස් අතින් ඉස්කෝලෙ යන්නෙ කිසිම දුකකින් නෙවෙයි. ඊට පස්සෙ එළඹෙන හැන්දෑව ගැන මතක්වෙලා හිත පිරිච්ච සන්තෝසයකින්.
එදාට මම ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකොට අහල පහල ගෙවල්වල කීපදෙනෙක් එක්ක අපේ අම්ම රාජකාරි පටන් අරගෙන, මුළු කුස්සියම පුසුඹයි.
හැන්දෑවෙ පහට විතර පටන් ගන්න කෑම පාර්සල් බැඳිල්ල තුන් හතරදෙනෙකුගෙ උදව්වෙන් හවස හය විතර වෙනකොට යාන්තං අහවරයි. ඊට පස්සෙ කුස්සියෙ පෝරණුවට උඩින් තියන කොන්ක්‍රීට් කෑල්ලෙන් බාල සෝදල වේලෙන්න තියාපු ප්ලාස්ටික් භාජන වලට ආයෙම අඩුපාඩු බෙදන්න කියල එළවළු, මාළු, පපඩම්, කට්ලට් මහ ගොඩක් පුරෝගන්නව. ඕං එතනින් කුස්සියෙ රාජකාරි අහවරයි.
ඊට පස්සෙ තාත්ත හීන් සැරේ පරණ වැගන් කාර් එකට පෙට්ටිවල අඩුක් කරාපු කෑම පාර්සල්, ප්ලාස්ටික් බකට් එහෙම පටවගන්නව. මමයි කියල මහ වැඩක් නොකලත් හැම එකකටම සම්මාදං වෙන්නෙ හරිම සන්තෝසෙන්.
හැන්දෑවෙ හය හමාරට විතර අපි ඔන්න ළමා නිවාසෙට යනව. අපි යනකොට පුංචි පුංචි කොළුපැටව් තාප්පෙ ගාව ඉඳලම පෝලිං ගැහිල ඉන්නව හරිම සන්තෝස මූණු වලින්. වාහනේ උන් ටිකව පහුහරන් ඉස්සරහටම යනකොට එක පෝලිමට දුවගෙන එනව. ඊට පස්සෙ වාහනන් බාන කෑම ඔක්කෝම එයාල කෑම කන ශාලාවට අරගෙන යන්නත් උදව් වෙනව.
ඊට පස්සෙ අපිත් එක්කම ඒ පොඩි උන් රොත්ත එනව බුදුන් වඳින්න. උන් මහා හයියෙන් ගාථා කියනව අපි කියනවටත් වඩා හයියෙන්. ඊලඟට විනාඩි දෙකක් භාවනා කරන්න ඕනෙ. විහාරගෙයි මල් මල් ටයිල් උඩ එරමිනිය ගොතාගෙන වාඩිවෙන පොඩි උන්ට ඒ විනාඩි දෙක කල්පයක් වගේ. දාන ශාලාවෙ ඉඳල හුලඟ එක්කං එන පුසුඹ උන්ගෙ නැහැයවල් කොණිති ගහනව ඇති. බැරිම උනාම එකෙක් දෙන්නෙක් හොරාට ඇහැක් විතරක් ඇරලත් බලනව.
ඊටපස්සෙ හැමෝම යනව දාන ශාලාවට. අපිටත් කලිං දුවල ගියපු කොලු පැටව් ටික අපි එතනට යනකොට පිඟන් කෝප්ප එහෙම අරගෙන වාඩිවෙලා දිලිසෙන ඇස්වලින් බලාගෙන ඉන්නව. උන්ට හරිම සන්තෝසයි. හිනා කටවල් ගොඩයි.
කෑම කාල බඩ පිරිච්ච සන්තෝසෙට ඒ පුංචි එවුන් ඊටපස්සෙ අපිට අහං ඉන්න සින්දු කියනව. ඒක හරිම ලස්සන, සංවේදී මොහොතක්.
මුලින්ම පොඩි උන් ටික කෑම කාපු ලොකු මේස බිත්තිය අයිනෙ එක පිට එක ගොඩගහනව වාඩෙවෙලා උන්න බංකු එහෙම්මම තියෙන්න ඇරල. ඊට පස්සෙ වාඩිවෙන බංකු එකකට එකක් හේත්තුවෙන විදියට ලොකු රවුමක් හැදෙන විදියට තියල රවුමෙ ඇතුල් පැත්තට කකුල් දාල හැමෝම වාඩිවෙනව. අපිත් ඒ අය අතරෙන් වාඩි උනාම රවුම ගානට හිර වෙලා.
ඊට පස්සෙ සින්දු කියන්න පුළුවන් පොඩිඋන් ඒ රවුමෙ මැදට ගිහිල්ල සින්දු කියනව, නටන්න පුළුවන් කොලු පැටව් නටනව. හරිම අපූරුයි. ඒත් පපුව කඩාවැටෙන තරං දුකයි. උන් එකෙක්වත් අඬන්නෙ නෑ. ඒත් උන් අසරණයි. ඒ අසරණ කම හංගං සින්දු කියල, නටල අත්පුඩි හගනකොට උන් තරමට අසරණ නැති අපි කිසිම කෙනෙක්ට නාඬා ඉන්න බෑ.
මට අද වගේ මතකයි එක කොලු පැටියෙක් වචන පටලව පටලව මෙන්න මේ සින්දුව කිව්ව.
අම්මාවරුනේ අම්මාවරුනේ
දරුවන්ගේ දූක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා
ඒ කඳුලැල් පිසිනා
අම්මාවරු නැති දරුවන්ගේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
සංසාරේ මතු බුදු වන්නේ
සෙනෙහස වැඩිදා සිතද බොලඳ වේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ.
දරුවන්ගේ දූක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා
ඒ කඳුලැල් පිසිනා
අම්මාවරු නැති දරුවන්ගේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
සංසාරේ මතු බුදු වන්නේ
සෙනෙහස වැඩිදා සිතද බොලඳ වේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ.
මං බලාගෙන අපේ අම්ම මූණ හංගාගෙන අඬනව. ඒ සින්දුව කිව්ව පොඩි එකා ඒ වෙනකොටත් හිනාවෙච්ච ගමන් මයි.
ටික ටික රෑ වෙනව. දැං පොඩි පැටට් ටිකට නිදිමතයි. එකා දෙන්නට ඈනුම් යනව. ඒ කියන්න අපිට ආයෙම ලබන අවුරුද්ද වෙනකං උන් ගෙන් සමුගන්න වෙලාව ඇවිල්ල.
අපි යන්න නැගිට්ටම උන් එක පොදියට වැටිල අම්මටයි තාත්තටයි දණ ගහල වඳිනව. ඒ හරියට තමන්ගෙම ගෙදරක අම්ම තාත්තගෙ උණුසුම විඳල නොතිබුණු උන්ට පැය කීපයකට හරි අම්ම තාත්ත උනාට පිං කියන්න වගේ.
එහෙම උපන්දින සමරපු මට ගම අතෑරල දාල කොළඹ ආවදා ඉඳල කාර්යාල සම්ප්‍රදායට අනුව මූනිච්චාවට සුභපතන ඈයො වට කරන් “හැපි බර්ත් ඩේ ටූ යූ” කියල ග්‍රීන් කැබින් කේක් කපල වැඩ ඇරිල යනගමං රෑට පාං ගෙඩියකුත් අරං ගිහිල්ල පරිප්පු හොද්දෙ පොඟවං කන්න වෙච්ච එක නම් ඇඬෙන, ලැජ්ජා හිතෙන විහිළුවක්.
කිසිම ස්ථීර දෙයක් නැති ජීවිතේ
0 ප්‍රතිචර:
Post a Comment
බැලුවද?
ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?